Pages

Tuesday, October 25, 2011

උපාධි සහතිකය










තාත්තගෙ කබායෙන්
යන්තම් වසන් කරගෙන
මහ වරුසාවෙන් බේරාගත්
උපාධි සහතිකය!


Tuesday, June 21, 2011

පාපොච්චාරණය


මං පුංචි කාලෙ
ලෙක්චර් කළා අපේ තාත්තා
විශ්ව විද්‍යාලෙ.
ගණං වලට මං දක්ෂය කියල
දෙනවා මට ඒ දවස් වල
ලකුණු එකතු කරන්න
උත්තර පත්තරවල
එදා ඉඳල මටත් ඕන වුණේ
ලෙක්චරර් වෙන්න
විශ්ව විද්‍යාලෙ
හැමදාම ලකුණු එකතු කර කර ඉන්න!

වලි කෑව නොසෑහෙන්න
විභාග පාස් කර ගන්න

තිබුණෙ නෑ ඉස්පාසුවක්
හිටවන්ට මල් පැලයක්
උයන්නට සම්බලක් බතක්
මහන්නට කොට්ට උරයක් තරම් වත්!

බී. ඇස්. සී
එම්. ඇස්. සී
පී. ඇච්. ඩී.
සේරම පාස් කරලා
මං ආව ඒ රොප්පෙ ඉඳලා
ලෙක්චරර් තාත්තගෙ ලෙක්චරර් දූ වෙලා...

ඒ එනකොට
තිබුණු හයි හත්තිය සේරම මට පොවාපු
අම්මටයි තාත්තටයි ඉතුරු වෙලා තිබුණෙ
කටුයි හමයි මමයි විතරයි!

ඒත් මම?
හැඟීමක් දැනීමක් විචාරයක් නැති
දෙමවුපියන්ටවත් සැනසීමක් නොවුණු
කෙළෙහිගුණයක් නැති
නිකන්ම නිකන්
ආත්මාර්ථකාමී
පී. ඇච්. ඩී. කාරයෙක්!!!




Tuesday, March 8, 2011

මහා කවියකු වෙත ගියෙමි!

ගියෙමි
මහා කවියකු වෙත.
ලැබ ගුරුහරුකම්
ඔප කරගනු වස් මගේ කවිකම්...

විඳිත ඔහු මා දුන් කවි සටහන්
විටෙක නඟමින් සියුම් මඳහසක්
විටෙක මවමින් බැරෑරුම් බවක්
අමතා කීය සිය බිරිඳට...
"මේ ලමයට බොන්න දෙයක් ගෙනාවනං..."

මහත් කුහුලක් ඇතිවිය ම සිතට
කෙතරම් රුවැත්තියක් විය යුතුද
ඇය...!
මෙවන් මහා කවියෙකුටත්
කව් රැසකිනුත් වනා නිම කළ නොහැකි වූ රුව...
...
ම හද යළි යළි සසල වූයේ
ඔහු අදහස් පතා නොව
ඈ රුව දකිනු රිසියෙනි.
...
..
.
අවසන ඕ පැමිණියාය.
කුදු වූ ගතින්
නහර මතු වූ දෑතින්
පිළිගැන්වූවාය මට ඈ
කෝපි කෝප්පයක්
හකු පෑදුණු මුවගට
මඳහසක් නඟමින්...!
...

මොහොතකට නැවතිණ
ම හද
...

ලද මත්තෙන් ඔහු පිළිවදන්
මම ම පසක් කරගතිමි
මා කවියකු නොවන බැව්!





Thursday, February 3, 2011

චූටි අයියා ආවා ආයෙ



ඉස්සර අපි නිවාඩුවට
ලොකු නැන්දගෙ චූටි පුතා
ඉඳ හිටලා අපේ ගෙදර
නැවතුණාම හරි සතුටුයි

වැඩ ඇරිලා ගෙට එනකන්
බලං ඉන්නෙ හැන්දෑවට
කිරි ටොපි, ඉඳි ටොපි, පොල් ටොපි
මල්ලක් ලැබෙනා හින්දයි

අවුරුදු ගාණකට පස්සෙ
චූටි අයියා ආව ආයෙ
ගෙනැවිත් තිබුණා එනකොට
ලොකු බිස්කට් පැකට් එකක්

ඉස්සර හිටියාට වඩා
චූටි අයියා පුංචි වෙලා
කොණ්ඩෙත් සේරම ගිහිං
අයියත් වයසට ගිහිං

අයියෙ මෙන්න රස බිස්කට්
කන්නකො මේ කේක් එහෙම...

කන්නට නම් බැහැ නංගියෙ
බොමුද නිකං කහට ටිකක්
සීනි ටිකක් වැඩී කියල
තහංචි නොවැ දැං පැණිරස!

ගිලිහී වැටුණා කඳුලක්
මතක් වෙලා පුංචි කාලෙ
බලා හිටපු හැටි පෙරමඟ
අයියා එක්ක කැවිලි මල්ල
කීයට නම් එයිද කියල...