
බූ ගා හිස් අඩක්
පිටුවහල් කළත් මවු දෙසින්
පිළිගෙන දෙවු කුමරකු සේ
පළඳා ඔටුනු ම දෙසෙහි
පුදා ආදර කුසුම
කළක් ගෙවුණි ද නුඹට
හඳුනා ගන්නට
පෙම් කළ මා යකින්නක බැව්...
මුදා තනිකම
සතපවා සුව යහනෙක
රති සුව විඳිද්දී
නො හැඟුණිද නුඹට
පෙම් කළ මා යකින්නක බැව්...
වදා දරු දෙදෙනෙක්
උරුම කොට පිය පදවිය නුඹට
සැතපෙද්දී උන් නුඹ තුරුලෙහි
නො හැඟුණිද නුඹට
පෙම් කළ මා යකින්නක බැව්...
එරෙහි ව පරපුරට
සුන් කර කිරුළ හිමි කුමරු
පළඳද්දී එය නුඹ හිස
නො හැඟුණිද නුඹට
පෙම් කළ මා යකින්නක බැව්...
සාප නො කරමි නුඹට
පිටමන් කළත් නුඹ ලොවින් සදහට
යකින්නක එක් මොහොතකට
දෙව් දුවක් කළ ඒ අසිරිමත් පෙම නමින්!
෴
No comments:
Post a Comment