Pages

Wednesday, July 16, 2025

පතන්නී...


     පුතේ, මේ නංගි බබා ඔයාගෙද?

          ඔව්! 

     මට දෙන්න බැරිද?

     නෑනෙ මට නංගි බබෙක් 

          බෑ! 

     නංගි බබාව මට දීල 

     ගේන්න කියන්න අම්මට

     ඉස්පිරිතාලෙන් 

     අලුතෙන් මල්ලි බබෙක් 

          .........!!!


පවසන්නී පුතුට 

පේර කැබැල්ලක්, අඹ ඉරුවක්, කොමඩු පෙත්තක් 

විටින් විට ලෑටි ගාමින් 

පතිනි මව් දෙවොල් දොරකඩ රැඳී සිටි 

තවත් එක් ගැහැනියක්!


නොදන්නෙමි බැතිමතියකදැයි...

පතන්නීදැයි සැබවින්ම දරුවකු...

වෙයිදෝ පතිනියක කිසිවෙකුගේ!


නොලද්දී පුතුගේ පිළිවදන් 

බලා ඔබ මොබ 

උවමනාවට එපාවට 

පිය නගන්නී දෙවොල තුලට...


මම යනව කපු මහත්තය 

හවස් වෙද්දී වහීද මන්ද!


Wednesday, February 19, 2014

හඳ, අඳුර සහ මම


අහසම පාළුයි!

ඉහිරුණු පිච්ච මල් සඟවා
රුදු වළාකුළු පෙළක්
රවටයි පිපාසිත මහ පොළොව
කිසිම තෙතමනයක් නැතිව...

බලමි නෙතු යොමා අහසට
බලාපොරොත්තුව දිය බිඳක්
ඉරි තලා අසරණ ව
පීඩිත ඉඩෝරයට...

නැත වැහි පොදක ලකුණක්වත්
මොහොතකට හමා ආ
වියළි සුළඟින් නලියන
ගහ කොළවල සට පට හඬ මිසෙක...

යළිත්
සියල්ල නිහඬය...

සැර එළිය විහිදුවන
එහා ගෙදර ඇන්තිනාව නොවේ නම්
කළුවර එතරම් ම අවලස්සන නැත.

ඒත්...
...
..
.
"හඳ නැතුව මට පාළුයි අප්පච්චි!"



Saturday, August 31, 2013

අඳ වාදකයා සහ ප්‍රේමය!


හැඳ කිලිටි සරමක්
එළා බිම කඩමල්ලක්
දුටිමි අඳ මිනිසෙක්
වයන'යුරු බටලීයක්


සියත ඔහු කර රඳමින
නැගෙන බටලී ස්වරය විඳිමින
තම හිමි පෙමින් රැකෙමින
හිඳී ළඟ හිතවතිය හිනැහෙන


යන එන්නන් රවා
යති ගැහැණියට ගරහා...

"බැරිද මේ ගෑණිට
කිසිවක් හම්බ කරනට
තනයි විකුණං කන්නට
ලෝකයේ හැටි අනේ ඇත්තට!"


නෙතින් අඳ මුත් නැත අඳ පෙමට
නමුදු බිහිරිය ඇසුණ රුදු වදනට
හදින් ඉපැයූ සිය ලබැඳි බිරියට
වයයි ප්‍රේමය නඟා ගී ස්වරයට...



Sunday, February 12, 2012

- - - !

අයා නෙතු යුග
බලා පෙරමඟ
පතා ජීවය
නො ලත් වියොවින්
දරා නොහෙනා
සොවින් සැලෙනා
ගැබක් හෙළනා
නිහඬ කඳුළු!


Wednesday, February 8, 2012

ආරාධනා..!



පොපියන්න ලා තණපත්
වියළි ඝන බොල් මහ පොළොව මත

ඉසලන්න පොද වැස්සක්
පූදින්න තතනන කැකුළු මත

පිසලන්න සෝ කඳුලක්
බලා පෙරමඟ වෙහෙසි නෙතු මත

ඔබ එන්න ගෙන පැතුමක්
වපුරන්න පෙම යදින හද මත!


Tuesday, October 25, 2011

උපාධි සහතිකය










තාත්තගෙ කබායෙන්
යන්තම් වසන් කරගෙන
මහ වරුසාවෙන් බේරාගත්
උපාධි සහතිකය!


Tuesday, June 21, 2011

පාපොච්චාරණය


මං පුංචි කාලෙ
ලෙක්චර් කළා අපේ තාත්තා
විශ්ව විද්‍යාලෙ.
ගණං වලට මං දක්ෂය කියල
දෙනවා මට ඒ දවස් වල
ලකුණු එකතු කරන්න
උත්තර පත්තරවල
එදා ඉඳල මටත් ඕන වුණේ
ලෙක්චරර් වෙන්න
විශ්ව විද්‍යාලෙ
හැමදාම ලකුණු එකතු කර කර ඉන්න!

වලි කෑව නොසෑහෙන්න
විභාග පාස් කර ගන්න

තිබුණෙ නෑ ඉස්පාසුවක්
හිටවන්ට මල් පැලයක්
උයන්නට සම්බලක් බතක්
මහන්නට කොට්ට උරයක් තරම් වත්!

බී. ඇස්. සී
එම්. ඇස්. සී
පී. ඇච්. ඩී.
සේරම පාස් කරලා
මං ආව ඒ රොප්පෙ ඉඳලා
ලෙක්චරර් තාත්තගෙ ලෙක්චරර් දූ වෙලා...

ඒ එනකොට
තිබුණු හයි හත්තිය සේරම මට පොවාපු
අම්මටයි තාත්තටයි ඉතුරු වෙලා තිබුණෙ
කටුයි හමයි මමයි විතරයි!

ඒත් මම?
හැඟීමක් දැනීමක් විචාරයක් නැති
දෙමවුපියන්ටවත් සැනසීමක් නොවුණු
කෙළෙහිගුණයක් නැති
නිකන්ම නිකන්
ආත්මාර්ථකාමී
පී. ඇච්. ඩී. කාරයෙක්!!!




Tuesday, March 8, 2011

මහා කවියකු වෙත ගියෙමි!

ගියෙමි
මහා කවියකු වෙත.
ලැබ ගුරුහරුකම්
ඔප කරගනු වස් මගේ කවිකම්...

විඳිත ඔහු මා දුන් කවි සටහන්
විටෙක නඟමින් සියුම් මඳහසක්
විටෙක මවමින් බැරෑරුම් බවක්
අමතා කීය සිය බිරිඳට...
"මේ ලමයට බොන්න දෙයක් ගෙනාවනං..."

මහත් කුහුලක් ඇතිවිය ම සිතට
කෙතරම් රුවැත්තියක් විය යුතුද
ඇය...!
මෙවන් මහා කවියෙකුටත්
කව් රැසකිනුත් වනා නිම කළ නොහැකි වූ රුව...
...
ම හද යළි යළි සසල වූයේ
ඔහු අදහස් පතා නොව
ඈ රුව දකිනු රිසියෙනි.
...
..
.
අවසන ඕ පැමිණියාය.
කුදු වූ ගතින්
නහර මතු වූ දෑතින්
පිළිගැන්වූවාය මට ඈ
කෝපි කෝප්පයක්
හකු පෑදුණු මුවගට
මඳහසක් නඟමින්...!
...

මොහොතකට නැවතිණ
ම හද
...

ලද මත්තෙන් ඔහු පිළිවදන්
මම ම පසක් කරගතිමි
මා කවියකු නොවන බැව්!





Thursday, February 3, 2011

චූටි අයියා ආවා ආයෙ



ඉස්සර අපි නිවාඩුවට
ලොකු නැන්දගෙ චූටි පුතා
ඉඳ හිටලා අපේ ගෙදර
නැවතුණාම හරි සතුටුයි

වැඩ ඇරිලා ගෙට එනකන්
බලං ඉන්නෙ හැන්දෑවට
කිරි ටොපි, ඉඳි ටොපි, පොල් ටොපි
මල්ලක් ලැබෙනා හින්දයි

අවුරුදු ගාණකට පස්සෙ
චූටි අයියා ආව ආයෙ
ගෙනැවිත් තිබුණා එනකොට
ලොකු බිස්කට් පැකට් එකක්

ඉස්සර හිටියාට වඩා
චූටි අයියා පුංචි වෙලා
කොණ්ඩෙත් සේරම ගිහිං
අයියත් වයසට ගිහිං

අයියෙ මෙන්න රස බිස්කට්
කන්නකො මේ කේක් එහෙම...

කන්නට නම් බැහැ නංගියෙ
බොමුද නිකං කහට ටිකක්
සීනි ටිකක් වැඩී කියල
තහංචි නොවැ දැං පැණිරස!

ගිලිහී වැටුණා කඳුලක්
මතක් වෙලා පුංචි කාලෙ
බලා හිටපු හැටි පෙරමඟ
අයියා එක්ක කැවිලි මල්ල
කීයට නම් එයිද කියල...






Tuesday, May 25, 2010

කමා කළ මැන පුතුනි


නිහඬ බව
නිසල බව
සසල කළ මා සිත් අභියස
හොල්මන් කරන්නට විය
බියෙන් ඇලළුණු නුඹේ නෙතු යුග

මවු තුරුලට පෙර
මා තුරුලෙහි සැනසුණු නුඹ
මා ඇකයෙහි නැළවුණු නුඹ
කර දඬු උස් ව
මිනිසෙකු වීමට මත්තෙන්
මා
නුඹ හමුවෙහි බිළිඳකු වීමි...

දකිමින් දිවා රෑ
බියෙන් ඇලළුණු නුඹේ නෙතු යුග
නො මියෙමින් මියැදෙමි
දහස් වරක්

කමා කළ මැන පුතුනි

මෙ හැම රළු පරළුකම්
හෙට දින විකසිත වන
සුපිපි සුවඳැති මලක් වෙනුවෙනි!




Sunday, April 4, 2010

කුවේණිය වැළපෙයි...


බූ ගා හිස් අඩක්
පිටුවහල් කළත් මවු දෙසින්
පිළිගෙන දෙවු කුමරකු සේ
පළඳා ඔටුනු ම දෙසෙහි
පුදා ආදර කුසුම
කළක් ගෙවුණි ද නුඹට
හඳුනා ගන්නට
පෙම් කළ මා යකින්නක බැව්...

මුදා තනිකම
සතපවා සුව යහනෙක
රති සුව විඳිද්දී
නො හැඟුණිද නුඹට
පෙම් කළ මා යකින්නක බැව්...

වදා දරු දෙදෙනෙක්
උරුම කොට පිය පදවිය නුඹට
සැතපෙද්දී උන් නුඹ තුරුලෙහි
නො හැඟුණිද නුඹට
පෙම් කළ මා යකින්නක බැව්...

එරෙහි ව පරපුරට
සුන් කර කිරුළ හිමි කුමරු
පළඳද්දී එය නුඹ හිස
නො හැඟුණිද නුඹට
පෙම් කළ මා යකින්නක බැව්...

සාප නො කරමි නුඹට
පිටමන් කළත් නුඹ ලොවින් සදහට
යකින්නක එක් මොහොතකට
දෙව් දුවක් කළ ඒ අසිරිමත් පෙම නමින්!




Thursday, April 1, 2010

සංඛ

දුටිමි බැස යන මළ හිරු සිතිජ ඉමේ
නැග එන සඳ මඬල ද ගිල ගනිත කළු වළාවෝ
දනන් තුටු සයුරේ ගිල්වන සයුරු තෙර අභියස
හුදෙකලා ව සිටියෙම්...

වැල්ලේ නැගෙන සහසක් පා සටහන්
මකා දමද්දී උමතු දළ රළ
රළ පෙළින් නොමැකුණු පා සටහන් වැලක
හිමිකරු දුටිමි.

පිය මැන ඔහු ම වෙතට
මඳ සිනහවක් පා
දිගු කළ සුරතෙහි වූයේ
පුංචි බෙලි කටුවකි!
පුංචි බෙලි කටුවකි!!
මා දිවියට පණ පෙවූ
පුංචි බෙලි කටුවකි!!!



Friday, February 26, 2010

සේයා


සීතල අඳුරු රැයෙක

සැඩ සුළං ගත පෙළද්දී
දැනේ ම කොපුල් මත
සිහින් සුසුමක උණුසුම...

දහසක් දනන් අතර
තනි වී හඬද්දී සොවින්
හඟිමි නො පෙනෙන සවියක්
කඳුළු පිස මා සනහන...


වෙහෙසුණත් දකිනු රිසියෙන් ඔබ රුව

වියළි දුහුවිල්ලත්,
සර සරින් සැලෙනා මළ පත් රැසත්,
ඝන සීත මීදුමත්
අවුරයි නෙතු මානය
හඬවමින් මා
බොඳ කර ලමින් ඔබ සේයා රුව
නාඳුනන ලොවක...
...
..
.
නැගෙමි යළිත් සවිමත් ව
එළඹෙන තුරු වසන්තය
හඟිනු රිසියෙන්
නුඹ සිනහව මා දිවිය පුබුදන'යුරු
නුඹ දෑත ම වෙත සවියක් වන'යුරු
ඒ ලෙන්ගතු සේයා රුව සැබෑවක් වන තුරු!




Wednesday, February 24, 2010

පරිණත ව...


තටු නැති කල
පහන් සිළ වෙත ගොස්
උණූසුමින් පීඩිත ව
එ මග අත්හරින කුහුඹුවා
තටු ලත් කල
'මා දැන් පරිණතය' යි උදම් ව
පහන් සිළ වෙත ඉගිල
දැවී
අළු වී
නසී!




Saturday, January 30, 2010

නො ලියූ කවිය

පිරුණු හඳ ලෝකෙ ම එළිය කරද්දි
නුඹෙ මතකය කෙනිත්තුවා මගෙ නෙතු අග
කඳුලු කැට වැළපුණා රූරා වැටෙන්නට
ඒත්
නැති නිසා නිදහසක් කඳුලකටවත් හිනැහෙන්නට
ලියන්න ගත්තා කවියක්
දුක තුනී වී යන්නට...

දහසක් වදන් ගලා ආවා ම සිතට
මිහිරි අතීතය...
සොඳුරු මතක...
කෙළි කවට සිනා...
සීතල මද නළ...
කණාමැදිරි...
...
..
.
වරුවක් පොරබැද්දා මං වදන් සමග
දුන්නේ නෑ මට ඉස්පාසුවක් ඔබේ මතකය
ගලපා ලියන්නට එක් පදයක් තරම් වත්!
...
...
...
මළ පාලුවක් දැණුනා මගෙ හිතට
...
...
...
නුඹ සිටියා නම් ළඟ
නගේ කියා අමතන්නට...!




- 2010 ජනවාරි -


Tuesday, January 26, 2010

Lament of a Spirit






It was my breath the last
And got wet from the tears they cast
Carrying the lovely memories of the past
I left them in a ship without the mast!



Death is the climax but the actor can't see
Everyone wept, "Oh, Don't leave me!"
My wish was to join them as anyone to be
But how could they know that I am the same 'he'?


At last I decided to go there again
And was controlled by my only friend 'the brain'
Floating and Jumping in a thundering heavy rain
I went to see if my wishes were in vain


I saw my wife sobbing aside
And recollected her beauty when she was a bride
I felt I'm dead when suddenly she cried
And thought that sound was spread worldwide!


I know you loved me so much my darling
But I had to part you oh my sweet darling
I came back to see you for the love of you darling
But you rejected me, Oh my dear Darling!













- 2001 -


අහිමි ප්‍රතිලාභ!

ප්‍රතිලාභ ලබන්නට ජීවිතයේ
අයදුම් කළෙමි ණයකට...

නම් වීය එය ආදරය!

හමුවූයෙන් කළමණාකරණ වැට කඩුලු
ප්‍රතිලාභ නො මැතිව ද
පොළී ගෙවන්නෙමි ජීවිතයෙන්

දිගු කාලීන නොව
සදාකාලික වූ ණයකට!

- 2002 -




දයාබර යෙහෙළියට...


හිනැහෙන්නට තුටින් - ආ යුතු ද වසත් සම?
ඔබ මගේ හදවතේ - රැඳේ නම් හැමදාම

දෙනෙත් නිදි හැර කුමට - බලන්නද ලොව ම දෙස
සිහිනයෙන් පැමිණ ඔබ - ලොව ම මා දෙනෙත් ඉම

පිපුණු මල් සුවඳයි ලු - මට දැනෙන්නේ නැති ලු
අපේ මිතු දම් සුවඳ - මල් හොරෙන් ගනීවි ලු

ගුණ නුවණ ඇති ළමෝ - සොමි ගුණැති සඳ වැනී
රුවැති යහපත් ළමෝ - සුපුන් පෝ සඳ වැනී

නුඹත් පෝදා සඳක් - ගුණ නුවණ රුව රැඳී
ලොව ම දිදුලන්නියක් - අඳුරු අහසේ රැඳී...

-2003-


සරදම



ජය ගන්න වෙර දරද්දී ජීවිතය
පා පැකිළුණු මොහොතේ
ම හට පෙම් බැඳි සරදම...

ජය ගතිමි ජීවිතය
ඔබේ ප්‍රේමයේ නාමයෙන්!

නමුදු ඒ ජය අභිමුවේ
කිම ද ඔබ මා හැර ගියේ...

නැවත මා සොයා එනු මැන
දයාබර සරදම!





-2001-



හිරු සඳු සහ මම


දිටියෙමි එක් දිනකදි මා සිටියදි වෙරළට වෙලා
නුඹ සිටියා සිතිජ ඉමේ නැග එන පුන් සඳ වෙලා
අසරණ වී සිටියෙමි ඔබ වැළඳගන්න බැරි වෙලා
කිම ඔබ මා තනි කර ගොස් සිතිජ ඉමේ නැවතිලා

පෙනේවි ඔබ සැමදා බොඳ වූ ඡායාවක් ලෙසින්
සිතිජ ඉමේ නැග එන දිදුලන පුරපස සඳ තුළින්
මා දිවියට එළිය දෙමින් පෙර දා නිලුපුල් නෙතින්
ඇයි කඳුලක් බිම හෙළුවේ හිරුගේ දිලි මිණි නෙතින්

ඔරුව නැගේ බාධක රළ පෙළ මැද ලොවටම හොරා
සිහි වේ අවසන් දිනය ද පිය නැගි පාසල කරා
මැවෙනා සඳ බොඳ වූ රුව සුනිල ගුවන් තල අරා
නොපෙනේ අඳුරෙහි ඔරුව ද මා හැර එන ඔබ කරා

ගවු ගණනක් දුර ගෙවුවත් ධීවර ගීතය ගයා
අඳුර මැදින් යන ගමනකි මුදු සඳ එළියම සොයා
මා සිහි වී ආපසු එයි සයුරෙහි ඉම වෙත නොයා
පැමිණෙන තුරු බලා හිඳිමි නිදි නැති නෙතු යුග අයා

මුදු ගුණ රැඳි සඳ නැති ලොව නොකරයි හිරු හුදෙකලා
නමුදු දනිමි සඳ වෙත ඇත ඇල්ම තවත් ලිය ලලා
හැකි වුවහොත් යම් දිනකදි එන්න සයුර පීනලා
හිරු සඳු හට මැදි වන්නෙමි දිදුලන තරුවක් වෙලා

-2003-